Saturday, December 10, 2011

චිත්‍රපට ගැන හැදින්වීමක්.

චිත්‍රපට කර්මාන්තය

චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ.
චිත්‍රපට නිර්මාණයේදී වැයකළ යුතු විශාල මුදල් ප්‍රමාණයක් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය බොහෝ දුරට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින නිෂ්පාදන ආයතන ආශ්‍රීතව කේන්ද්‍රගතව පවතී. කෙසේ නමුත් ලාභදායී චිත්‍රපට නිෂ්පාදන උපාංගවල දියුණුව සහ ක්ෂේත්‍රයට පරිබාහිරව ආයෝජන ලබාගැනීමේ හැකියාව දියුණුවීම හේතුවෙන් ස්වාධීන චිත්‍රපට නිෂ්පාදනය සඳහාද ඉඩකඩ විවරව ඇත.

චිත්‍රපටයක් රූගත කරන අවස්තාවක්

චිත්‍රපට නිර්මාණය

චිත්‍රපටයක් සඳහා ආරම්භක කතා සංකල්පයක නැතහොත් පිටපත් නිර්මාණය කිරීමේ පටන් පටිගත කිරීම, සංස්කරණය සහ අවසානයේ ග්‍රාහකයන් වෙත බෙදා හැරීම් දක්වා වූ ක්‍රියාවලිය චිත්‍රපට නිර්මාණය නම් වේ. සාමාන්‍යයෙන් මේ සඳහා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලබාගත යුතු අතර නිර්මාණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා කාලයක් ගත විය හැකිය. ලෝකය පුරා ආර්ථික සමාජීය හා දේශපාලනික ආදී පසුබිම් රාශියක් පදනම් කොට ගෙන චිත්‍රපට නිර්මාණය සිදු වන අතර එහිදී විවිධ තාක්ෂණයන් සහ ක්‍රමවේද භාවිතා වේ.


චිත්‍රපට පෙර නිෂ්පාදනය

පෙර නිෂ්පාදනයේ දී, චිත්‍රපටය නිර්මාණය සහ සැලසුම් කිරීම සිදුවේ. නිෂ්පාදන ආයතනයක් මඟින් ච්ත්‍රපටය නිර්මාණය කරන අතර නිෂ්පාදන කාර්යාලයක් ද පිහිටුවනු ලැබේ. නිර්මාණයේ කතා ආකෘතියකට නඟන අතර එය චිත්‍ර නිර්මාණකරුවන් සහ සංකල්ප නිර්මාණකරුවන් ආධාරයෙන් දෘශ්‍ය රූපයට නගනු ලැබේ. චිත්‍රපටයේ වියදම බැලීම සඳහා නිෂ්පාදන අයවැයක් ද සටහන් කරගනු ලැබේ. නිෂ්පාදකයා විසින් මුදල් ගෙවා සේවක කණ්ඩායමකගේ සහාය ලබා ගනී. චිත්‍රපටයේ ස්වභාවය සහ වියදම මත, චිත්‍රපට නිෂ්පාදනය අතරතුර යොදා ගනු ලබන කණ්ඩායමේ ප්‍රමාණය සහ වර්ගය තීරණය කෙරේ. හොලිවුඩ්හි අති දැවැන්ත නිර්මාණයන්හි නළුනිළි සහ සහාය කණ්ඩායම් පිරිස ලෙස දහස් ගණනක් කටයුතු කරන අතර, අඩු වියදමින් නිපදවන චිත්‍රපට, අට දෙනෙක් හෝ නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ආධාරයෙන් නිර්මාණය කරනු ලැබේ. නියමාකාර වශයෙන් කණ්ඩායමකට අයත් කාර්යයන් වන්නේ,
  • චිත්‍රපටයේ රඟපෑම් සහ නිර්මාණාත්මක කොටස් වෙනුවෙන් දායකවීමයි. චිත්‍රපටය නිර්මාණය වෙනුවෙන් මුලික වශයෙන් අධ්‍යක්ෂකවරයා වග කියනු ලැබේ.
  • සහාය අධ්‍යක්ෂකවරයා (AD) විසින් අනෙකුත් කටයුතු මැද රූගතකිරීම් කාර්ය සටහන සහ නිර්මාණයේ මනා සංවිධානය හසුරුවනු ලැබේ.
  • රඟපෑම් අධ්‍යක්ෂකවරයා විසින් පිටපතෙහි චරිත සඳහා නළු නිළියන් සොයා ගනී. මේ සඳහා සාමාන්‍යයෙන් නළුවාගේ ශ්‍රවණ පරීක්ෂණයක් අවශ්‍ය වේ. ප්‍රධාන චරිත ඉතා පරෙස්සමින් තෝරා ගනු ලබන අතර මෙය බොහෝ විට නළුවාගේ කීර්තිය හෝ “තරු බලය” මත තීරණය වේ.
  • රූගතකිරීම් ස්ථාන කළමනාකරු විසින් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා උචිත ස්ථාන සොයා ගැනීම කළමණාකරණය කරයි. බොහෝ දර්ශන චිත්‍රාගාර, ශබ්ද වේදිකාවලදී රූගත කරන නමුත් සමහර අවස්ථාවලදී පිටත දී රූගත කරන කොටස් චිත්‍රාගාරයෙන් පිටත රූගත කිරීම් සිදු කෙරේ.
  • නිෂ්පාදන කළමණාකරු විසින් නිෂ්පාදන වියදම සහ නිෂ්පාදන ක්‍රියා පටිපාටිය කළමනාකරණය කරයි. ඔහු හෝ ඇය විසින් නිෂ්පාදන කාර්යාලය වෙනුවෙන් චිත්‍රපටයේ චිත්‍රාගාර විධායක නිලධාරීන්ට හෝ මූල්‍ය ආයෝජකයන්ට වාර්තා කරනු ලැබේ.
  • කැමරා අධ්‍යක්ෂක (DP නොහොත් DOP) විසින් චිත්‍රපටයේ ජායාරූපකරණය නිර්මාණය කරයි. ඔහු හෝ ඇය අධ්‍යක්ෂකවරයා, ශ්‍රව්‍ය අධ්‍යක්ෂකවරයා (DOA) සහ සහාය අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව කටයුතු කරයි.
  • කලා අධ්‍යක්ෂකවරයා විසින් කලා අංශය පාලනය කරයි. එමඟින් රූගත කිරීම් ස්ථාන නිර්මාණය කෙරේ.
  • නිෂ්පාදන නිර්මාණකරු විසින් කලා අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව නිෂ්පාදන රූගත කිරීම් ස්ථාන හා භාණ්ඩයන්හි ප්‍රතිරූපය සහ භාවය නිර්මාණය කරයි.
  • ඇඳුම් නිර්මාණකරු විසින් චිත්‍රපටයේ නළු සහ අනෙකුත් අංශ සමඟ ළඟින් කටයුතු කරමින් ඔවුන්ගේ චරිත සඳහා ඇඳුම් නිර්මාණය කිරීම සිදු කරයි.
  • වෙස් ගැන්වීම් සහ කොණ්ඩා නිර්මාණකරු විසින් ඇඳුම් නිර්මාණකරු සමඟ ළඟින් කටයුතු කරමින් චරිත සඳහා නිෂ්චිත පෙනුමක් ලබා දීමට කටයුතු කරයි.
  • කතා ආකෘති නිර්මාණකරු විසින් අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදන නිර්මාණකරුට, ඔවුන්ගේ අදහස් නිෂ්පාදන කණ්ඩායමට සන්නිවේදනය කිරීමට උදවුවීමට දෘශ්‍ය රූප නිර්මාණය කරනු ලැබේ.
  • නිෂ්පාදන ශබ්ද පරිපාලක විසින් චිත්‍රපටයේ නිෂ්පාදන අවස්ථාවේ දී ශබ්ද පාලනය සිදු කරයි. ඔහු හෝ ඇය අධ්‍යක්ෂකවරයා, කැමරා අධ්‍යක්ෂකවරයා සහ සහාය නිෂ්පාදකවරයා සමඟ එක්ව කටයුතු කරයි.
  • ශබ්ද නිර්මාණකරු විසින් foley නිර්මාණකරුවන්ගේ සහාය ඇතිව අලුත් ශබ්ද නිර්මාණය කරන අතර චිත්‍රපටයේ ශ්‍රව්‍යමය දැනීම වැඩි දියුණු කරයි.
  • රචකයන් විසින් චිත්‍රපටය සඳහා අලුත් ගීත නිර්මාණය කරනු ලබයි.
  • නර්තන නිර්මාණකරු විසින්, බොහෝ විට සංගීතමය අවස්ථාවන් සඳහා චලන සහ නර්තන නිර්මාණය කිරීම සහ සම්බන්ධීකරණය සිදු කරනු ලබයි. සමහර චිත්‍රපට සඳහා සටන් චලන නිර්මාණකරුවන් ද යොදා ගනී.

චිත්‍රපට බෙදාහැරීම

මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍රපටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පළකිරීම මගින් චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරය කරනු ලැබේ.
‍‍‍‍x men 4 ඩිවිඩ් තැටියෙ කවරය
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශණය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීමද සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශණය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.            

උපුටා ගැනීම; විකිපීඩියා නිදහස් විශ්වකෝශය

No comments:

Post a Comment